නූතන පද්‍ය විවාරය

ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ                           -  ආරියවංශ රණවීර




අතින් දෙන කරල් තුඩ ගා        බුදින්න           නේ

බිතක්කන ඉඳන් නෙත් වට      යොමන්න       නේ

උදේ හවස්කර ගෙයි වට           ලගින්න          නේ

තොපට ලොව පටුයි පොඩි ගේ  කුරුල්ල        නේ


රුවට රුව සමයි තෙපි වී        කුරුල්ලන         නේ

අවට නුඹ ගැබේ සිට සිරි         බලන්න            නේ

බිමට ඉද්ද සේ බැස හැල්         නෙලන්න          නේ

ගැහැට කැට පහර විඳ දිවි       ගෙවන්න          නේ


එකට පොදිය එක මල් රෑනක              සිරි          ය

හවස රිවි කිරණ විසිරෙන්නා               සරි          ය

කීං හඬ නගා ඉගිලෙති පා                   එඩි          ය

හීන් රතු තුඩේ රඳවා අඩු                      වැඩි         ය


වාන් කෙතේ අස්වනු අඩුවා                  සැබ          ව

හීන් තුඩු ගසා සොරු ගත්තා                සැබ          ව

ඒත් තරහ නැත වී කුරුලනි                  අස            ව

රෑන් සරින් මගෙ හිත යයි තෙපි            කැටු         ව


ආරියවංශ රණවීර කවියාගේ ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ පද්‍ය පන්තිය සඳහා වස්තු විෂය වී ඇත්තේ කුරුළු ලෝකයේ හමුවන ගේ කුරුල්ලන්ගේ සහ වී කුරුල්ලන්ගේ ජීවන රටා ඇසුරින් මිනිස් ලෝකයේ හමුවන ධනපති හා නිර්ධන පංතියේ වෙනස පැහැදිලි කිරීමයි. සිව්පද ආර යොදා ගනිමින් කවියා මෙම සමාජ
පන්තීන් නියෝජනය කරමින් මිනිසුන් ජීවත් වන අයුරු පෙන්වා දීමට මහඟු උත්සහයක් දරා ඇත.මිනිස් සමාජය දෙස ඍජුව එබී නොබලන කවියා පද්‍ය පන්තිය පුරාවට කුරුළු ජීවන රටා දෙකක් උපයෝගී කර ගෙන වක්‍රෝක්තිය මැනවින් භාවිතා කර ඇත.

කවියා පද්‍ය පන්තිය ආරම්භයේදීම ගේ කුරුළු ජීවන රටාව පිලිබඳව විස්තරයක් කරයි. එනම් ගේ කුරුල්ලන්ගේ ජීවන වපසරිය සැකසී ඇත්තේ මිනිස් වාසයට සමීපයේ ය. අතීතයේ සිටම මිනිසුන් තුළ වූ විශ්වාසයක් වන්නේ තම නිවසේ ගේ කුරුල්ලන් වාසය කිරීම නිවැසියන්ට සෞභාග්‍යය ලබා දෙන බවයි. එම නිසා මිනිසුන් ගේ කුරුල්ලන් රඳවා තබා ගැනීමට උත්සහ ගනියි. එමඟින් ගේ කුරුල්ලන්ගේ ජීවිතය ඉතා පහසු එකක් කවියා පෙන්වා දෙයි.

"අතින් දෙන කරල් තුඩ ගා            බුදින්න         නේ 

 බිතක්කන ඉඳන් නෙත් වට         යොමන්න     නේ  

 උදේ හවස්කර ගෙයි වට              ලගින්න        නේ 

 තොපට ලොව පටුයි පොඩි ගේ    කුරුල්ල       නේ"

මිනිස් ලෝකය තුළ හමුවන ධනපතියාගේ ජීවිතය  ද ඒ හා සමානය. ඔවුන්  සැප පහසුකම් සහිත සුවපහසු ජීවිතයක් ගෙවයි.මේ බව කවියා ⁣ ගේ කුරුල්ලා උපමාවට ගනිමින් 'බිතක්කන, බුදින්න,ලගින්න' ආදී ගැමි වහර යොදා ගෙන නිර්මාණය කිරීම තුළින් ඒ බව  මැනවින් අවබෝධ වේ. 

 කෙසේ වෙතත්⁣ ගේ කුරුල්ලා සහ වී කුරුල්ලා රුවින් එක හා සමානය.නමුත් ජීවන වපසරිය බෙහෝ වෙනස් වන්නේ වී කුරුල්ලා කටුක ජීවිතයක් ගත කරන නිසාවෙනි. 

 "රුවට රුව සමයි තෙපි වී         කුරුල්ල          නේ

  අවට නුඹ ගැබේ සිට සිරි          බලන්න          නේ 

  බිමට ඉද්ද සේ බැස හැල්           නෙලන්න      නේ 

  ගැහැට කැට පහර විඳ දිවි        ගෙවන්න      නේ " 

ගේ කුරුල්ලන්ට මෙන් වී කුරුල්ලන්ට සියල්ල නොමිලේ ලැබෙන්නේ නැත. තම ජීවිකාව වෙනුවෙන්  දැඩි අරගලයක නිරත වීමට වී කුරුල්ලාට සිදු වෙයි.එනම් අනුන්ගේ කුඹුරු වල කෑම සොයන්නට ගිය විට විවිධ කරදර වලට මුහුණ දීමට සිදු වේ. නිර්ධන පාන්තිකයාගේ ජීවිතයද ඒ හා සමානය. තම ජීවිකාව වෙනුවෙන් දැඩි අරගලයක නියැලෙන දුප්පතුන් කරදර වලට ස්වභාවයෙන්ම ලක් වේ. එය කවියා 'බිමට ඉද්ද සේ බැස හැල් නෙලන්නනේ' ආදී උපමා මෙන්ම 'ගැහැට කැට පහර' වැනි රෑපක භාවිතා කරමින් ව්‍යංගාර්ථවත්ව  දැක්වීමෙන් පාඨකයාට මැනවින් ගම්‍යමාන වේ.

"එකට පොදිය එක මල් රෑනක             සිරි        ය 

 හවස රිවි කිරණ විසිරෙන්නා              සරි        ය

 කීං හඬ නගා ඉගිලෙති පා                   එඩි       ය 

හීන් රතු තුඩේ රඳවා අඩු                      වැඩි      ය "

ගේ කුරුල්ලන් රංචු වශයෙන් හමු නොවුනද වී කුරුල්ලන් නිතර හමු වන්නේ රංචු වශයෙනි. ඒ තුළින් වී කුරුල්ලන්ගේ සාමූහික ජීවිතය පෙන්නුම් කරයි. එය කවියා මල් රෑනකට,සදෑ හිරු කිරණ විහිදෙන ආකාරයට ආදී ස්වාභාවික පරිසරයේ දකින්නට ඇති සුන්දර අංගයන් වලට උපමා කර දැක්වීමෙන් පාඨක හදවත් තුළ අහිංසක මිනිසුන්ගේ අව්‍යාජත්වය සජීවී චිත්තරූප දනවයි.

එමෙන්ම මෙම පද්‍ය පන්තිය ඉතාම සංක්ෂිප්ත එකකි.එනම් එහි අවසානය වන විට කවියා සමාජයට  ආදර්ශයක් ලබා දීමයි. 

"වාන් කෙතේ අස්වනු අඩුවා           සැබ        ව  

 හීන් තුඩු ගසා සොරු ගත්තා          සැබ       ව  

 ඒත් තරහ නැත වී කුරුලනි            අස        ව 

 රූන් සරින් මගෙ හිත යයි තෙපි      කැටු     ව"

මෙහි කවියා සඳහන් කරන්නේ වාන අසල කෙතේ අස් වැන්න අඩු වීමට වී කුරුල්ලන් හේතුවක් වුවත් ඔවුන් එක්ක කිසිදු තරහක් නැති බවයි. එනම් කවියා ව්‍යංගාර්ථවත්ව පවසන්නේ සමාජයේ අගය විය යුතු ජීවිත අගය කළ යුතු බවයි. එනම් කවියා 'හීන් රතු තුඩ' වැනි සංකේත (කම්කරු පංතිය )භාවිතා කිරීමෙන් එය තව දුරටත් පැහැදිලි වේ.

මේ අනුව ආරියවංශ රණවීරයන්ගේ සාර්ථක නිර්මාණයක් ලෙස මෙම පැදි පෙළ අගය කළ හැක.











 

Comments

Post a Comment